2018 ජුනි 09 වන සෙනසුරාදා

මස් පිරුණු ජූසි සොසේජස් කන්න නම් යන්න නියම තැන Pork and Herb සහ Spicy Italian Pork

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 151

කොළඹදී හොඳ තත්ත්වයේ සොසේජස් හොයාගන්න නොතිබුණු නිසාම ඩිග්බි හිල් මීට අවුරුදු හතකට අටකට පමණ පෙර තමන්ගේ ගෙදරදීම සොසේජස් හදන්න යොමුවුණා. කාලයක් ගතවන විට ඔහුට නියම සොසේජස් පදමක් හමුවුණා. ඉන්පසුව තමයි ඔහු සොසේජස් අලෙවියට යොමුවුණේ. 

ඔහුගේ පළමු සොසේජ් එක තමයි Pork and Herb Sausage. අදටත් ඔහුගේ The Sausage Shop අවන්හලේ වැඩිම ඉල්ලමක් තියෙන්නේ ඒ සොසේජස් වර්ගයටයි. 

ඔහු සාදන සොසෝජස්වල සියයට 82ක්ම තියෙන්නේ මස්. ඒ වගේම ඔහු ලුණු පාවිච්චි කරන්නෙත් ඉතා අඩුවෙන්. ඒ වගේම බිස්කට් කුඩු, පලා වර්ග සහ වෙනත් කුළුබඩු වර්ගත් මස්වල රස වැඩිවෙන්න යොදාගන්නවා. හැබැයි කිසිම කෘතිම රසකාරකයක් වර්ණකාරකයක් යොදන්නේ නැහැ. 

අපේ තෝරාගැනීම වුණේ Cumberland (කිලෝවක් රු.3000යි.) සොසේජස් වර්ගයයි. බ්‍රිතාන්‍ය උරුවට හදන මේ සොසේජස් එකේ යම් සැර ගතියකුත් තිබෙනවා.

Pork and Herb සහ Spicy Italian Pork කියන්නේ ඔවුන් සතු තවත් රසවත් වර්ග දෙකක්. ඒවා සියල්ලක්ම හොඳින් මස් පිරුණු සහ ජූසි ගතියක් තිබෙන සොසේජස් වීම විශේෂත්වයක්.

සාමාන්‍යයෙන් සොසෝජස්වලදී කුකුළුමස් කියන්නේ ගොඩක් හොඳ තේරීමක් නෙමෙයි. නමුත් මෙතැනදී විවිධ පලාවර්ග මුසුකරපු Chicken and Herb සහ සුදු ලූනුත් කැබලි මිරිසුත් යොදාගෙන හදපු Spicy Chicken යන වර්ග දෙකෙන් පිළිගැන්වෙන සොසේජස් ඉතාම රසවත්.

මෙතැනදී රස විඳින ආහාරයකදී වැඩිම අවධානයක් සොසේජස් වෙත යොමුවන නිසා ඒ සමඟම සැලඩ් එකක් හෝ තෙම්පරාදු කළ එළවලු වර්ග කිහිපයකුත් ඇණවුම් කළොත් ඒක හොඳ ආහාර සංයෝගයක්.

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත